එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පෙරමුණේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා පවසයි.
මෙම පුවතේ සත්‍යතාව පිළිබඳව සිදු කරන ලද විමසීමකට පිළිතුරු ලබා දෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහ ලේකම්වරිය සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් ද එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්ව නොමැති බවයි.
ඇය එහිදී මෙසේද සඳහන් කළාය;
"එහෙම ප්රවෘත්ති පළ වෙලා කියලා මටත් ආරංචි වුණා. හැබැයි ඒවයේ කිසිම ඇත්තක් නැහැ. මොකද අපේ පක්ෂයෙන් දැනට දෙන්නෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවනේ. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට යන්න නම්, ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අයින් වෙන්න ඕනේ. එහෙම සූදානමක් නැහැ. අනිත් එක රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත් එහෙම ඉල්ලීමක් ඇවිත් නැහැ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යනවද නැද්ද කියල තීරණය කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බවට, එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු විසින් සිය හිතවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙනයමින් සිටින බවයි.
පසුගිය මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර, එම මන්ත්‍රී ධුර නියෝජනය කරනු ලබන්නේ, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික ලේකම් රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා ය.
Lanka Newsweek © 2026